ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා වීරෝධියි. මුල පටන්ම බල ශූන්‍යයි.

By 0 Comment

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක් ද?

ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එම රටේ ක්‍රියාත්මක වන මුඛ්‍ය නීති පද්ධතිය අඩංගු කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි උත්තරීතර ලේඛනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. ඒවා පහත පරිදි වේ.

 

  1. ජනතාවගේ අයිතිවාසිකම් සහතික කිරීම සහ ඒවා ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය හඳුන්වා දීම.
  2. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ කවුරුන් විසින් හා කෙසේ ද යන්න නිර්ණය කිරීම.
  3. රාජ්‍ය විසින් නොයෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මොනවා ද යන්න නිර්නය කර තිබීම.
  4. රාජ්‍ය විසින් පවත්වාගෙන යා යුතු ආයතන හා ඒවායේ බලතල නිර්ණය කිර තිබීම.

මෙහි දී රාජ්‍යයේ ස්වභාවය කුමක් ද යන්න ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු අතර රට තුළ අසමානතාවකින් තොර ව නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම ද තහවුරු විය යුතු ය. ‘රටේ වෙසෙන පාලිතයන් පමණක් නොව නීතිය හදන පාලකයන් ද නීතියට යටත් ය’ යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිගත් මූලික ම සංකල්පයකි.

 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

වර්තමානයේ දක්නට ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ඉතිහාසය තුළ මුලින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස්වරූපයක් ගත් ප්‍රතිසංස්කරණයක් ලෙස හඳුන්වා දිය හැක්කේ 1833 කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ය. මධ්‍යගත පාලන ක්‍රමය, ව්‍යවස්ථාදායක, විධායක සභා ස්ථාපිත කිරීම, රාජ්‍ය සිවිල් සේවය ස්ථාපිත කිරීම, අධිකරණ ක්‍රමය නියමානු කූල කිරීම ඊට ඇතුළත් ය. පසුව 1911 මැකලම් ප්‍රතිසංස්කරණ යෝජනාවලිය මගින් එය වඩාත් විධිමත් වූ අතර 1920 මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් ව්‍යවස්ථාදායකයේ බලය තරමක් ශක්තිමත් විය. පසුව 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය සමඟ සර්වජන ඡන්ද බලය ශ්‍රී ලාංකිකයන්ට හිමි විය. 1948 ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් අපට ලැබුනේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි.

 

පළමු ජනරජ ව්‍යවස්ථාව

ශ්‍රී ලංකාව පූර්ණ ස්වෛරීභාවයකින් යුත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකිකයන්ට තිබුණේ වුව ද එවැනි නිදහස් තත්ත්වයක් තහවුරු කර ගැනීම පිණිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා සෝල්බරි ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට බලයක් දී නොතිබුණි. සමඟි පෙරමුණු සන්ධානය 1970 මහ මැතිවරණයේ දී පූර්ණ ස්වාධිපත්‍යයකින් යුත් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජන වරමක් ඉල්ලා සිටින ලදී. එම මැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමඟ සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළ අර ඊට නායකත්වය ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ය. නීතිය පිළිබඳ පැවති හසල දැනීම හා බුද්ධිය අනුව පාර්ලිමේන්තුව තුළ සිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලයක් නොමැති බව වටහාගත් ඔහු පාර්ලිමේන්තු සභිකයන් පාර්ලිමේන්තුවෙන් පරිබාහිර තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් (Constitutional Assembly) ලෙස රැස් වී නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ආරම්භ කළේ ය. එම මණ්ඩලය රැස් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල පරිශ්‍රයේ ය. එසේ සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 1972 මැයි 22 වන දින එය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්හ. එවක් පටන් පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව ආදේශ විය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අවකාශ නොමැති කම නිසා එසේ අනුගමනය කළ ක්‍රමය, විප්ලවකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමේ ක්‍රියාදායමක් විය.

 

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වන ව්‍යවස්ථාව අනුව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා නෛතික අධිකාරිය ජාතික රාජ්‍ය සභාව වෙත පැවරී ඇති අතර අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ද එහි දක්වා ඇත. 1977 මැතිවරණයෙන් 5/6 ක බලයක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන අගමැතිගේ ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ බාධාවක් නොවූයේ 1972 ව්‍යවස්ථාවේ ඉහත කී ප්‍රතිපාදන සලසා තිබීම නිසාවෙනි. ඒ අනුව ඔහු 1978 වසරේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 සහ 82(2) ව්‍යවස්ථා අනුව එම ව්‍යවස්ථාව අවලංගු කොට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇත. එම බලය ක්‍රියාත්මක කළ යුත්තේ සහ කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුකූල ව පමණි. ඒ අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බලයක් ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසම්පාදක මණ්ඩලය මුල පටන් නීති විරෝධී එකකි

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ දී පාර්ලිමේන්තුවෙන් පිට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවාගෙන කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තුව තුළ එවැනි කටයුත්තකට නීතියෙන් ඉඩ නොමැති නිසා ය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත් කිරීමේ වගකීම ජේ.ආර්.ජයවර්ධන ඔහුගේ මිතුරකු වූ දේශපාලන විද්‍යා මහාචාර්ය ඇල්ෆ්‍රඩ් ජයරත්නම් විල්සන් මහතාට පැවරීය. ඔහු සම්පාදනය කළ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමෙන් පසු 1972 ව්‍යවස්ථාවේ 51 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් විය. 1978 ව්‍යවස්ථාවේ ද ඊට සමාන ප්‍රතිපාදන 82 වන ව්‍යවස්ථාවේ පවතින හෙයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ බාධාවක් නැත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පත් කිරීමට 1978 ව්‍යවස්ථාවේ කිසිදු අයුරකින් බලයක් පාර්ලිමේන්තුවට ලබා දී නොමැත. නව ව්‍යවස්ථාවක් සකසා ගැනීමට ආණ්ඩුවට අසීරු කාරණයක් වන්නේ නම් ඒ සඳහා සහාය ලබා ගැනීමට ආණ්ඩුවට කළ හැක්කේ ස්ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාවක් පත් කරගෙන ඒ මගින් නිර්දේශ ලබා ගැනීම ය. ඒ අනුව දැනට පාර්ලිමේන්තුව විසින් පත් කොට ගෙන ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ මෙහෙයුම් කමිටුව මුල පටන් ම සහ එනයින් ම අවලංගු හා බලශූන්‍ය වේ.

 

ව්‍යවස්ථාදායක මණ්ඩලය බලශූන්‍ය බව ප්‍රකාශ කිරීමට අධිකරණයට බලය ඇත්තේ ය

ව්‍යවස්ථාදායකය ස්වාධීන ව කටයුතු කළ යුතු ආයතනයක් වන අතර එහි කටයුතු සම්බන්ධ ව නඩු විමසීමට හෝ තීන්දු දීමට අධිකරණයට බලයක් නැත. එය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ පිළිගත් සම්ප්‍රදායක් වන අතර ඒ පිළිබඳ ව මීට පෙර අධිකරණය හා පාර්ලිමේන්තුව විසින් තීරණ ගෙන ඇත. පාර්ලිමේන්තුව මෙන් ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන තේරීම් කාරක සභා, ස්ථාවර තේරීම් කාරක සභා, විශේෂ කාරක සභා සහ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා යන ආයතන වලට ද මෙම වරප්‍රසාදය හිමි වෙයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කිසිදු ආකාරයකට පිළි නොගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා ස්ථාවර නියෝග මාලාව මගින් ආවරණය නොවන බැහැර වූ ආයතනයක් බැවින් එය නීතියෙන් බලශූන්‍ය වේ. එය පාර්ලිමේන්තු වරප්‍රසාද මගින් ආරක්ෂා නොවන්නකි. එවන් වූ පරිබාහිර ආයතනයක වලංගු භාවය පිළිබඳ ව තීරණයක් ගැනීමට අධිකරණයට කිසිදු බාධාවක් නොමැත. නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ක්‍රියාදාමය 78 සහ 82 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මගින් සකසා තිබියදී ඉන් භාහිරව මණ්ඩල පත් කිරීම ව්‍යවස්ථා විරෝධී වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බල රහිත එකක් වන හෙයින් එම මණ්ඩලය මගින් පත් කරන්නට යෙදුනු මෙහෙයුම් කමිටුව එනයින් ම බල රහිත වන්නේ ය. එමෙන් ම මෙහෙයුම් කමිටුව විසින් සකසා ඇති 2017 සැප්තැම්බර් 21 දිනැති අතුරු වාර්තාව ද නිරායාසයෙන් ම අවලංගු හා බලශූන්‍ය ලේඛනයකි. මහජන මත විමසීම සදහා පත්කල කමිටුවටද කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ප්‍රවාහය තුළ ජනතාව සිය අභිමතය අනුව මන්ත්‍රීවරු තෝරා ගන්නේත්, විශාල මහජන මුදලක් වැය කරමින් පාර්ලිමේන්තුව හා මන්ත්‍රීවරු නඩත්තු කරන්නේත් රටේ ආරක්ෂාව සහ ජනතා සුභසිද්ධිය වෙනුවෙන් නීති පැනවීමේ සුවිශේෂ ඥානයක් ඔවුන්ට ඇත්තේ යැයි බලාපොරොත්තුවෙනි. අපරාධ නඩු වලදී අධිකරණය චූදිතයනට දඩුවම් පමුණුවන්නේ ඔවුන් පවතින නීතිය පිළිබද දැනගෙන සිටියාය යන පූර්ව නිගමනය මතය. එමෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් නීති සම්පාදය කරණු ලබන්නේ නීතිය පිළිබදව අවබෝධයක් ඇතුව යැයි ජනතාව පූර්ව නිගමනය කරණු ලබයි. 1972 සිරිමාවෝ මැතිනිය ගෙනා ව්‍යවස්ථාව සහ 1978 ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙනා ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී කිසිදු විදේශීය උපදේශකයකුගෙන් උපදෙස් ලබා නොගත් අතර උපදේශකයන් සඳහා ජනතා මුදල් කෝටි ගණනින් වැය නොකළහ. ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත් වන මන්ත්‍රීවරුන්ට රටට අවශ්‍ය නීතිය සම්පාදනය කරගත නොහැකි නම් මහජන මුදලින් ඔවුන් ව නඩත්තු කිරීමේ ඇති ඵලය කිම ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙත පැවරී ඇති මූලික ම වගකීම නීති සම්පාදනය කිරීමයි. අපට අවශ්‍ය නීතිය සකස් කර ගැනීමේ දී විදේශික උපදේශකයන්ට මිල මුදල් ගෙවීමට සිදු වන්නේ නම් එය මුළු මහත් පාර්ලිමේන්තුව ම ලැජ්ජා විය යුතු කාරණයකි.

නීති සම්පාදයේ ලා කිසිදු සුදුසුකමක් නැත්තවුන් පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධව දෝෂාරෝපනය භාරගත යුත්තේ දේශපාලඥයන් නොව ඡන්ද දායකයන් විසිනි. ඡන්ද කාල වලදී වියලි ආහාර, මත්පැන්, පාසල් පොත්, කෙසෙල් ගෙඩි බෙදාදෙන එමෙන්ම සෑම මල ගෙයකටම, මගුල් උත්සවයකට, කොටහළු උත්සවයකට, දන් සැලට පැමිණෙන්නවුන් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් විය යුතු බවට ප්‍රබල සංස්කෘතියක් ගොඩනගා ඇත්තේ ජනතාව විසිනි. එමෙන්ම ජාතික දේශපාලනයේ නියුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කළ යුතුත්තේ පාරට තාර දැමීම, බෝක්කු සෑදීම, විදුලි පහන් සවිකිරීම, පයිප්ප එලීම යැයිද ඔවුන්ගේ මතයයි. ජනතාවගේ ඡන්ද බලය තුලින්ම ජනතාවගේ වලකපා ගැනීමටද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඉවහල් කර ගත හැකිබවට මෙය හොද උදාහරණයකි.

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

1978 ව්‍යවස්ථාව සම්බන්ධ ව දිගින් දිගට ම පුබල විවේචන ඉදිරිපත් විය. ඊට භාජනය වූ ප්‍රධාන කරුණු දෙකකි.  එනම් විධායක ජනාධිපතිගේ බලය අසීමිත වීම හා සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමයේ ඇති දූෂිත බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි විශාල ජන හඬක් නැගුනේ ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේ ය. 1994 ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ වන්නේ ම රටට ශාපයක් වූ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රමුඛතා පදනම මත මාස 6 ක් ඇතුළත අහෝසි කරන බව පවසමිනි. ඇය එම ව්‍යවස්ථාව හැඳින්වුවේ ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව ලෙස ය. 2015 අප්‍රේල් 28 වන දින 19 වන සංශෝධනය සම්මත කරන තෙක් ම එහි පැවති බහුබූත ස්වරූපය එලෙසින් ම පැවතුනි. 2010 සිදු කළ 18 වන සංශෝධනයත් සමඟ එම තත්ත්වය ෆැසිස්ට් ව්‍යවස්ථාවක් දක්වා වර්ධනය විය. 19 වන සංශෝධනය ගෙන ආවේ ලංකා ඉතිහාසයේ එදා මෙදා තෙක් පිහිටුවන ලද සුළුතර බලයක් සහිත කුඩා ම ආණ්ඩුව විසිනි. එදා එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුවට පැවතියේ ආසන 47 ක් පමණි. අප කිසිදු විදේශ උපදේශකයකුගේ හෝ එන්.ජී.ඕ. කරුවන්ගේ මැදිහත් වීමකින් තොරව රටට වඩාත් හිතකර ලෙස එය සම්පාදනය කිරීම නිසා පක්ෂ භේදයකින් තොර ව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වල සහාය මෙන් ම ජනතා ආශිර්වාදය ද අපට ලැබුණි. එම අවස්ථාවේ අප සද්භාවයෙන් කටයුතු කරන බවට ජනතාව තුළ තිබූ විශ්වාසය ඊට මූලික හේතුව විය. විපක්ෂය විසින් ඉදිරිපත් කරන්නට යෙදුනු සංශෝධන 144න් 3 ක් පමණක් භාර ගෙන 19 වන සංශෝධනය සම්මත කර ගැනීමට සියලු පක්ෂ දුන් සහාය සහ එවකට කථානායක චමල් රාජපක්ෂ මහතා ලබා දුන් දැඩි සහයෝගය නොවන්නට එය කිසිදා යථාර්ථයක් වීමට ඉඩ නොතිබුණු බව ද කෘතවේදීව සඳහන් කළ යුතු ය.

 

යෝජිත නව ව්‍යවස්ථාව අසාර්ථක වීමට බලපෑ හේතු සාධක

ඉහත කී පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75, 82 සහ 83 ව්‍යවස්ථා අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය. එම බලය මත පැනවී ඇති සීමා 76(1) ව්‍යවස්ථාවෙන් මෙසේ නිර්වචනය කොට ඇත.

“පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටුවිය යුත්තේ ය.”

ව්‍යවස්ථාවේ සඳහන් මෙම ප්‍රතිපාදන ඉතා සරල ය. එමෙන් ම පැහැදිලි ය. එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමට පාර්ලිමේන්තුව අනුමත කළ යෝජනා සම්මුතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුකූලව අවංකව ද, ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතීව ද, උපරිම ශක්ති ප්‍රමාණයෙන් ආරක්ෂා කොට අනුගමනය කරන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාව මගින් මන්ත්‍රීවරුන් දී ඇති ප්‍රතිඥාව/දිවුරුම උල්ලංඝනය කිරීමක් නොවන්නේ ද?

වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තා සැකසීමෙහි ලා වඩාත් මැදිහත් වී සිටින්නේ මෙහෙයුම් කමිටුව නොව මහජන මුදලින් විශාල වැටුප් ලබන විදේශීය උපදේශකයන්, විදේශීය මුදල් වලින් යැපෙන දේශියත්වයට අවමන් කරන රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් සහ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඒකිය රටක් ලෙස නොව ෆෙඩරල් රටක් බවට පත් කළ යුතු බවට මතය ගෙන ගිය පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු කිහිපදෙනෙක් විසිනි. ඊට අමතර ලෙස දෙමළ ඩයස්පෝරාව බලවත් ව පවතින රටවල් මූල්‍ය ආධාර සැපයීමට ඉදිරිපත් වූ අතර සමහර සාමාජිකයන්ගේ විරෝධතා නිසා එය නතර වුනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ව්‍යවස්ථාදායක බලය ඉහත කණ්ඩායම් වලට හා නීතියෙන් පිටුදැක ඇති මණ්ඩලයක් වෙත බාර දී ඇත්නම් පාර්ලිමේන්තුවෙන් ඇති ඵලය කුමක් ද?

 

නව ව්‍යවස්ථාව කා සඳහා ද?

රට ෆෙඩරල් රටක් බවට පත් කරමින්, බුද්ධ ශාසනයට ඇති ප්‍රමුඛතාව ඉවත් කරමින් උතුරු නැගෙනහිරට ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඇති බලතල බෙදීමක් කරමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැන නැගී ඇත්තේ කාටද? රාජ්‍ය නායකයින් පවසන්නේ බලතල බෙදීම ඇතුළු නව ව්‍යවස්ථාව සම්පාදනය කළ යුත්තේ දේශපාලඥයින් සඳහා නොව ජනතාව සඳහා ය යන්නයි. එය සාධාරණීකරණය කිරීම සඳහා ගෙනහැර පාන එක ම උදාහරණය වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල ජනාධිපතිට ලැබුණු ඡන්ද අතරෙන් විශාල ප්‍රමාණයක් සුළු ජාතීන් විසින් දී ඇති බව ය. 2015 පැවති මැතිවරණ වල දී ලියාපදිංචි ඡන්ද දායකයන් ව සිටි ප්‍රමාණය 14,268,000 කි. රටේ ජනගහනය 20,359,000 කි. ඒ අනුව සෑම පුරවැසියන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුට ම ඡන්ද බලය ඇත. උතුර සහ නැගෙනහිර පළාත් වල දෙමළ ජනගහනය 1,597,000 කි. ඉන් 10 න් 7 ක් යනු 1,117,000 කි. උතුරු නැගෙනහිර සමස්ත දෙමළ ජනතාවගේ ප්‍රතිශතය රටේ මුළු ජනගහනයෙන් 7.84%කි.

  උතුර නැගෙනහිර උතුර සහ නැගෙනහිර මුළු ජනගහනයෙන්
දෙමළ 987,692 93% 609,584 39% 1,597,276 61.66% 7.84%
මුස්ලිම් 32,364 3% 569,182 36% 601,546 23.22% 2.95%
සිංහල 32,331 3% 359,136 23% 391,467 15.11% 1.92%

ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ ජනගහනය – 2,269,266       15.27%

උතුර සහ නැගෙනහිර දෙමළ ජනගහනය (ශ්‍රී ලාංකීය) – 1,597,276       7.84%

උතුර සහ නැගෙනහිරින් පිට සිටින දෙමළ ජනගහනය (ශ්‍රී ලාංකීය) – 671,990       3.3%

ඉන්දියානු දෙමළ (සියල්ලන් උතුරින් සහ නැගෙනහිරින් පිටත) – 839,504       4.12%

උතුර සහ නැගෙනහිරින් පිට සිටින සමස්ත දෙමළ ජනගහනය – 1,511,494       7.42%

ඒ අනුව මෛත්‍රීපාල ජනාධිපතිට ලැබුණු ඡන්ද ප්‍රමාණය තුළට රටේ සියලු ම ලාංකික සහ ඉන්දියානු ද්‍රවිඩ මෙන්ම මුස්ලිම් ජනතාවගේ ඡන්ද දී ඇතැයි උපකල්පනය කළත් එය ලක්ෂ 25 ක් නොඉක්මවන බව පැහැදිලි ය. එවිට ඔහුට දී ඇති ඡන්ද ලක්ෂ 62 න් ලක්ෂ 25 ක් අඩු වන විට ඉතිරි ලක්ෂ 37 සිංහල ජනතාවගේ ඡන්ද ය. මූලික වශයෙන් එය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනමෙන් 1% ක් වත් ඊට ඇතුළත් ව නැත. එම මැතිවරණය මුළුමනින්ම එ.ජා.පාක්ෂිකන්ගේ ලේ, දහදිය සහ කදුලු මතින් සිදුකළ එකක් මිස කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් එකදු රුපියලක් හෝ වැය නොකළ එකකි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණය 5,768,000 කි. ඔහුට සුළු ජන කොටස් වල ඡන්දය නොලැබුණු බවට බොහෝ අය තර්ක කරයි.  එය එසේ උපකල්පනය කලොත් මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල යන මහතුන් දෙදෙනාට ලැබී ඇති සිංහල ඡන්ද ප්‍රමාණය එකතුව ඡන්ද ලක්ෂ 94 කි. ඒ අනුව දැන් මතුව ඇති ප්‍රශ්නය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුත්තේ බහුතර සිංහල ජනතාව ලක්ෂ 94 සම්පූර්ණයෙන් නොසලකා හැර ලක්ෂ 25 ක සුළුතර ඡන්ද දායකයන් ප්‍රමාණයක් සතුටු කරවීම සඳහා ද යන්නයි. අනෙක් අතට රටේ ජනගහනයෙන් 7.84% ක් පමණ වු සුළු ජන කොටසක් වෙනුවෙක් විශාල ලෙස බලතල බෙදා ඇති රාජ්‍යක් ලොව පවතීද?

 

නීති සම්පාදනය කළ යුත්තේ සුළුතර මතය අනුව නොව බහුතර මතය අනුවයි.

ප්‍රජාතන්ත්‍රවාදය යන නාමයෙහි මුඛ්‍ය අර්ථය වනුයේ බහුතර ජනමතය අනුව රට පාලනය කිරීමයි. දේශපාලන විද්‍යාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු නිරන්තරයෙන් බුද්ධිමතුන්ගේ පාලනයක් නොවන අතර එය මෝඩයන්ගේ පාලනයක් ද විය හැකි ය. ඡන්ද දායකයන්ගෙන් 51% ක් අඥානවන්තයින් නම් ඔවුන් තෝරා ගනු ලබන්නේ බුද්ධිමතෙකු නොව අඥානවන්තයෙකු ම ය. එවිට එය අර්ථකථනය වන්නේ මෝඩයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසයි. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදය ම මිස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීම සදහා යොදාගනු ලබන මෙවලමක් නොවේ. මෙහි දී බහුතර බෞද්ධ මෙන් ම අබෞද්ධ සිංහල ජනතාවගේ මතය වන්නේ 1972 සහ 1978 ව්‍යවස්ථාවලට අනුව පවතින ශ්‍රී ලංකා රාජ්‍ය ඒකීය විය යුතු බව ය. 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය මගින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් පවා බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ආරක්ෂා කොට පෝෂණය කරන බවට දී ඇති පොරොන්දුව 1972 හා 1978 ව්‍යවස්ථා මගින් ද සහතික කර ඇති පරිද්දෙන් ම තවදුරටත් පැවතිය යුතු ය. අති උතුම් කාදිනල් හිමිපාණන් මෙන් ම සමහර ද්‍රවිඩ සහ මුස්ලිම් නායකයින් ද ඊට එකඟතාව පළකොට ඇත. එය මෙරට ජනතාවගේ ඓතිහාසික උරුමය වන නමුත් අන් සියලු ආගමිකයන්ගේ අයිතිවාසිකම් කිසිදු අසමානතාවකින් තොරව ආරක්ෂා කරදීමේ වගකීම රජය හා බහුතර බෞද්ධ ජනතාව මත පැවරී ඇති අනුල්ලංඝනීය වගකීමක් බව අමතක නොකළ යුතු ය. ආගමික සහජීවනය රැකීමේ වගකීම සියලු ආගමිකයන්ට පැවරී ඇති සාමූහික වගකීමකි. අද වන විට ලන්ඩන් නුවර පමණක් දිනකට මුස්ලිම්වරුන්ට පහර දීමේ සිද්ධි 20 ක් වත් වාර්තා වේ. ඒ අතින් ගත් කළ අපට සමානාත්මතාව සහ මානව හිමිකම් පිළිබඳ දේශන පවත්වන බටහිර ජාතිකයින්ට වඩා අප ඉදිරියෙන් සිටීම සතුටට කරුණකි.

 

සුළු ජාතිකයන්ට රාජ්‍ය නායකයින් විය නොහැකි ද?

සුළු ජාතිකයන්ට පවා රාජ්‍ය නායකත්වයට පත්විය හැකි ලෙස නව ව්‍යවස්ථාව සැකසිය යුතු බවට තර්ක කරන දේශපාලඥයින් පිළිබඳ ව කිව යුත්තේ ඔවුන්ට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අනවබෝධයක් බවයි. නොයෙකුත් රාජ්‍ය තුළ සුළු ජාතිකයන් රාජ්‍ය නායකයින් වූ අවස්ථා කොතෙකුත් ඇත. යුදෙව් ජාතික බෙන්ජමින් ඩිස්රායලි 1868 දී සහ 1874 දී දෙවතාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බවට පත් වීය. ඉන්දියාවේ ජනගහනයෙන් 1.7% ක් පමණක් වන සීක් ජනතාව නියෝජනය කළ මන්මෝහන් සිං ඉන්දියාවේ අගමැති බවට පත් විය. ඉන්දියාවේ ජනගහනයෙන් 14% ක් මුස්ලිම් ජාතිකයන් වන අතර අබ්දුල් කලාම් 2002 වසරේ ඉන්දියාවේ ජනාධිපති බවට පත් විය. ඉතාලියේ උපන් සෝනියා ගාන්ධි ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායිකාව බවට පත් වී ඇත. එම සිදුවීම් එකක් වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂීතාව නිසා සිදූ වුවක් නොව සුළු ජන කොටසක නියෝජිතයකුට වුව බහුතර ජනතාවගේ හදවත් දිනාගැනීමට තිබූ දක්ෂතාව පෙන්නුම් කිරීමකි.

ශ්‍රී ලංකාව තුළ ජාති ආගම් භාෂා භේදයකින් තොරව අගමැති හෝ ජනාධිපති වීමට ලක්ෂමන් කදිරගාමර්ට හැකියාව හා දක්ෂතාව තිබුණි. ඒ ඔහු සියලු ජනතාවගේ හදවත් දිනාගෙන සිටි නිසා ය. එහෙත් ඔහු මරා දැමුවේ දෙමළ කොටින් විසිනි. එවැනි චරිත සුළු ජාතීන් අතරින් බිහි නොවීම බහුතර ජන කොටසේ දෝෂයක් නිසා සිදුවන්නක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩුවක් නිසා සිදුවන්නක් නොවේ. මෙරට අගවිනිසුරුවරු, නීතිපතිවරු, හමුදාපති වරු, පොලිස්පතිවරු වැනි ඉහළ තනතුරු දැරූ සුළු ජාතිකයින් කොතෙකුත් විය. සුළු ජන කොටස් අතරින් බිහිවුවත් ලක්ෂ්මන් කදිරගාමර්, ඒ.සී.එස්.හමීඩ් වැනි නායකයන් සමස්ථ රටට නායකත්වයක් දීමට කටයුතු කළහ. වර්තමානයේ සුළු ජාතීන් අතරීන් එවැනි නායකයන් බිහි නොවන්නේ ජාතිකත්වය වෙනුවට ජාතිවාදී ආකල්ප පමණක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නන් වීම නිසාය.

උතුරේ දේශපාලඥයින් නිරන්තරයෙන් මතු කරන කාරණා කිහිපයකි. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ඉන් එකකි. එසේ කළහොත් දකුණු පළාතේ ජනතාව දකුණේ හමුදා කඳවුරු ඉවත් කිරීමට ඉල්ලා සිටියහොත් ඊට ද ඉඩ දිය යුතු ය. උතුරේ හමුදා ස්ථානගත කොට ඇති පුද්ගලික ඉඩම් ජනතාවට නැවත ලබාදිය යුතු ය යන්න තවත් ඉල්ලීමකි. එය ක්‍රමානුකූල ව රජය මගින් සිදුකරමින් පවතී. එහෙත් ප්‍රභාකරන් විසින් පැය 48 ක් තුළ දී උතුරෙන් නෙරපා දැමූ 100,000 ක් මුස්ලිම් ජනතාවගේ හා 40,000 ක් වූ සිංහල ජනතාවගේ ඉඩම් ආපසු ලබා දීම පිළිබඳ ඔවුන්ට වගක් නැත. ඒ පිළිබඳ මුස්ලිම් හා සිංහල ජනතාව උනන්දු නොවන්නේ නිවට කමක් නිසා යැයි ඔවුන් සිතනවා විය හැක. සමූල ඝාතන වලට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින චූදිතයන් දේශපාලන සිරකරුවන් ලෙස සළකා නිදහස් කිරීමට කරනු ලබන ඉල්ලීමට ඉඩදුනහොත් සිරගතව සිටින දහස් ගණන් දකුණේ අපරාධකරුවන් ද එවැනි ම නිදහසක් ඉල්ලනවා ඇත. යුද සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධ ව හමුදා භටයින්ට එරෙහි ව දෙමුහුන් යාන්ත්‍රණයක් ඉල්ලා සිටින ද්‍රවිඩ නායකයින් අඩු වශයෙන් ප්‍රභාකරන් හා ඔහුගේ සගයින් විසින් මරා දැමූ තම පක්ෂ නායකයින්ගේ මිනීමැරුම් සම්බන්ධව පරීක්ෂණ ඉල්ලා නොසිටීමෙන් ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය ඉතා හොඳින් පැහැදිලි වේ. ඔවුන් මරා දැමු කොටි සාමාජිකයන් තවමත් ජීවතුන් අතර සිටිය හැකිය ඔවුන්ට ජාත්‍යන්තර මානව හිමිකම් නීති අදාල නොවේද?

 

විධායක ජනාධිපති තනතුර අහෝසි කළ යුතු ද?

19 වන සංශෝධනය මගින් විධායක ජනාධිපති බලතල කප්පාදු කළත් තවමත් මෙරට පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. මෙය ඇමෙරිකාවේ, ජර්මනියේ, ප්‍රංශයේ විධායක ජනාධිපති ක්‍රමයන්ට වඩා වෙනස් එකකි. එම රටවල ජනාධිපතිවරයා බවට පත්වන පුද්ගලයාගේ තරාතිරම අනුව සිදුවන වෙනස අල්ප ය. ක්‍රමවේදය ඊට වඩා බලවත් ය. ශ්‍රී ලංකාවේ ක්‍රමවේදයට වඩා එම තනතුරට පත්වන පුද්ගලයාගේ තරාතිරම අනුව සිදුකළ හැකි බලපෑම ප්‍රබල ය. එය කොතෙක් ප්‍රබල දැයි කිවහොත් මෙම ව්‍යවස්ථා රාමුව තුළ ලෝකයේ සිටි බුද්ධිමත් ම රජු ලෙස සැලකෙන සොලමන් රජු වැනි අයෙක් වීමට හෝ ලෝකයේ සිටි ධාර්මික ම රජු ලෙස සැලකෙන අශෝක රජු වැනි කෙනෙක් වීමට හෝ ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කළ පොන්ටියස් පිලාටේ වැනි රජෙකු වීමට හෝ පන්සල් වටා කටු කම්බි ගැසූ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ගල් ගැසීමට මහජනතාවට මූලික අයිතිවාසිකමක් ඇතැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන වැනි ජනාධිපතිවරයෙක් වීමට හෝ එසේ නොමැති නම් වෙන දෙයක් සිදු වුනාවේ යැයි, දකින දේත් නොදැක්කා සේ බලා සිටින පතෝල ජනාධිපතිවරයකු වීමට හෝ කිසිදු බාධාවක් නැත. ඉහත කී කුමන ආකෘතියකට හෝ මොඩලයට අයිති වන්නේ ද යන්න තීරණය වනුයේ දැනට පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන මත නොව එම තැනැත්තාගේ දැනුම, අවබෝධය, පරිනත බව, ජනහිතකාමීත්වය, කැපවීම වැනි කරුණු මත ය.

 

වර්ථමාන ජනාධිපතිවරයාගේ වගකීම.

රටේ ඒකීයභාවය සහ බුද්ධ ශාසනයට ප්‍රමුකස්ථානය දීම සිදු නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් ඉඩක් නොතබන බව වර්ථමාන ජනාධිපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය එහෙත් එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු විය හැකිද යන්න සොයා බැලිය යුතුය. හේතුකාරණා දෙකක් අනුව එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැක.

පළමු කාරනය නම් නීති සම්පාදනය සිදුකරනුයේ පාර්ලිමේන්තුව විසිනි. ඊට මැදිහත් වීමට ජනාධිපතිට බලයක් නැත. ඔහුට පාර්ලිමේන්තුවේ ඡන්දයද හිමි නැත. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඔහුට ඊට මැදිහත් විය හැකි වුවත් රටේ ආරක්ෂාව පිළිබද බරපතල කාරණයක් බවට පත් වු හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල විදේශිකයන්ට පැවරීම යන කාරණයේදී එය වලක්වා ගැනීමට එතුමා ගත් උත්සහය නිශ්ළුල විය. දෙතුන් දෙනෙකුගේ බලපෑමට යටත් වීම නිසාවෙන්ම සයිටම් ප්‍රශ්නය මාස 10කට වඩා වැඩිකල් උඩු දුවන්නට හැර තීරණයක් නොගෙන බලා සිටියහ. විල්පත්තුවේ වන විනාශය පිළිබදව මෙතෙක් විසදුමක් ලබාදීමට ද අසමත්ව ඇත.

දෙවන කාරණය නම්, ඔහුගේ දේශපාලන අනාගතය පිළිබද පවතින ව්‍යාකූලත්වයයි. අනාගතයේ දේශපාලනයේ රැදී සිටීමට නම් ඔහුට ඇති විකල්පයන් පහත සදහන් පරිදි වෙ.

 

  1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනමෙන් අවම වශයෙන් 80% ක ප්‍රමානයක් ඔහුවෙත හරවා ගැනීම. එය කිසිසේත් යතාර්ථයක් නොවනු ඇති බව පෙනෙන්නට ඇත.
  2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය සමග එක්වී ඒතුලින් නායකත්වය තහවුරු කර ගැනීම. වර්ථමානයේ පත්ව ඇති තත්වය අනුව එයද කිසිසේත් නොවන්නක් බව පැහැදිලිය.
  3. එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වය ගෙන එ.ජා.ප යේ ක්‍රියාකාරිකයකු බවට පත් වීම. එයද වර්ථමාන දේශපාලන සන්ධර්භය තුල අභව්‍ය තත්වයකි.
  4. පවතින ආණ්ඩුවේ පුපුරා යාමක් ඇති වුවොත්, එ.ජා. පක්ශයේ දෙවන පෙළ නායකයකුගේ සහය ඇතිව එ.ජා.පයේ කොටසක් තමා වෙත නතුකරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට පාක්ශිකව සිටින කොටසත් සමග පාලනය ගෙනයාම. එයද යතාර්ථයක් විය නොහැක. හේතුව එම කණ්ඩායමේ කොටසක් දැනටමත් මහින්ද පාර්ශවය වෙත එක්වීම සදහා කල්යල් බලමින් සිටීමයි.
  5. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා වලට සහයෝගය ලබාදෙමින් ඉදිරි අවුරුදු දෙකයි මාස දෙකක කාලය ධූරය දරා අවසන් කිරීම.

මෙහිදී වඩාත් ප්‍රායෝගික ලෙස සිදුවිය හැකි යයි බලාපොරොත්තු විය හැකි තත්ත්වය වන්නේ ඉහත කී පස්වන විකල්පය පමණක් බව පැහැදිලිය.

වර්තමාන විධායක ජනාධිපති පැහැදිලි පක්ෂ නායකත්වයක් තුලින් මතු වු අයකු නොවේ. අනෙක් අතට කලක් විරුද්ධ දේශපාලන කදහුර ලෙස පැවති එක්සත් ජාතික පක්ෂයේ සහය හේතුවෙන්ම එම ධූරයට පත් වු අයෙකි. ඔහු මුහුන දී ඇති උභතෝකෝටික ප්‍රශ්නයන් වී ඇත්තේ රට අස්ථාවර කරන ව්‍යවස්ථා ගෙන ඒම සහ ජාතික සම්පත් විකිණීම යන කාරණා වලදී ඔහුට බලයට ඒමට උදවුකළ එ.ජා.පයේ ප්‍රතිපත්ති වලට පක්ෂක්ග්‍රාහි බව දක්වමින් සිය ණය ගෙවා දැමීය යුතුද? නැතහොත් රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති විධායක බලතල රටේ ආරක්ෂාව සහ ස්ථාවර භාවය රැක ගැනීමට තීන්දු තීරණ ගන්නවාද? යන කාරණාය. ඔහු ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඉහත කී පළමු විකල්පයට නම් තවදුරටත් විධායක ජනාධිපති තනතුර තබා ගැනීම කුණු වූ මුව හමක් ලග තබා ගැනීමකට සමානය.

 

පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාව තුළ තිබෙන අවිශ්වාසය

පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරු පිළිබඳ ජනතාව සහ ජනමාධ්‍ය නිරන්තරයෙන් දක්වනුයේ අප්‍රසාදය කි. අකාර්යක්ෂමතාව, දූෂණය, අවිචාරවත් බව පිළිබඳ නගන ප්‍රශ්න බොහෝ ය. එය තීව්‍ර වෙමින් පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින් ම බිඳ වැටුනේ 2017 සැප්තැම්බර් 21 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 20 වන සංශෝධනයට ඇතුළත් වු පරිදි පළාත් සභා ඡන්ද කල් දැමීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිය දී පළාත් සභා මැතිවරණ සාමාන්‍ය ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වක්‍ර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යටපත් කිරීමේ බරපතළ කාරණය මගිනි. එය තවත් බරපතළ තත්ත්වයට පත් වන්නේ මුල් සංශෝධන කෙටුම්පතේ සඳහන් නොමැති අලුත් ම කරුණු කාරක සභා අවස්ථාවේ දී කෙටුම්පතට ඇතුළත් කොට සම්මත කිරීම නිසා ය. කෙසේ වෙතත් එම කෙටුම්පතට අදාළ කාරණය සර්වජන ඡන්ද බලය වන හෙයින් එය පළාත් සභා විෂයයක් නොවන්නේ ය. එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයෙන් සම්මත කිරීම මගින් වලංගු තත්ත්වයට පත්වන බවට කථානායකට උපදෙස් දීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ හැකියාවක් නීතිපතිට නොමැත. තත්ත්වය එසේ පැවතිය දී පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා හා නීතිපතිවරයා විසින් කථානායක නොමඟ යවමින් එය සම්මත කර ගැනීම ඛේදජනක ය. මෙහි දී කථානායක කරූ ජයසූරිය මහතාගේ අවංක භාවය සහ අව්‍යාජ භාවය පිළිබඳ ව කිසිදු සැකයක් නැති නමුත් එතුමා නීති විශාරදයෙක් නොවීම යන කාරණය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන එකී ඇමතිවරයා හා නීතිපතිවරයා සිදුකර ඇත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මරු පහරක් එල්ලවන සාහසික ක්‍රියාවකි.

පාර්ලිමේන්තුව තුළ ඉහත සඳහන් ක්‍රියාදාමය හේතුවෙන් නව ව්‍යවස්ථාව ද ජනතාවගේ මෙන් ම කථානායකගේ ඇස් වලට වැලි ගසමින් සම්මත කර ගැනීමට ආණ්ඩුවේ ප්‍රයත්නයක් ඇතැයි යන්න ජනතාව තුළ ප්‍රශ්නයක් මතුව ඇත. රටට අහිතකර ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව සම්මත කළත් ඊට අත්සන් නොතබන බවට කථානායකවරයා කරන ප්‍රකාශයේ කිසිදු වලංගුතාවක් නැත. පනතක් සම්මත කළ පසු කථානායකවරයාට අත්සන් නොකර සිටීමේ නීතිමය හැකියාවක් නැත. අනෙක් අතට ඔහු අත්සන් නොකළහොත් ඔහු ඉවත් කොට වෙනත් කථානායකවරයෙක් පත් කරගෙන එයට අත්සන් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක.

හම්බන්තොට වරාය චීනයට දීමට විරුද්ධ වූ අර්ජුන රණතුංග ඇමති ඉවත් කර මහින්ද සමරසිංහ පත් කරගෙන එය සිදුකරගත් ආකාරයෙන් මෙය ද සිදු කිරීමට ඇති අවකාශ බොහෝ ය.

 

ෆෙඩරල් ක්‍රමය හෙවත් බෙදා වෙන් වීමේ ආරම්භය

මල්වතු අස්ගිරි මහානාහිමියන් බැහැදැක උතුරේ මහ ඇමති විග්නේශ්වරන් පැවසුවේ බලය බෙදීමේ ක්‍රමය ඉතා සාර්ථක ව ක්‍රියාත්මක වන බෙල්ජියමේ මෙන් නව ව්‍යවස්ථාව මගින් මෙරටේ ද බලතල බෙදිය යුතු බවයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 අගමැති වී පාර්ලිමේන්තුවේ කළ පළමු කථාවේ ද බෙල්ජියමේ බලතල බෙදීමේ ක්‍රමය පැසසුමට ලක් කළේ ය. එහෙත් බෙල්ජියමේ වර්තමාන තත්ත්වය ඉතා අවිනිශ්චිත බිඳෙනසුළු එකකි. ප්‍රංශ භාෂාව කථා කරන බෙල්ජියමේ දකුණු කොටසේ පිහිටි වලූන් (Walloon) හා නෙදර්ලන්ත භාෂාව කථා කරන බෙල්ජියමේ උතුරු කොටසේ ෆ්ලෙමිෂ් (Flemish) ප්‍රාන්ත මේ වන විට බෙදී වෙන්විය යුතු බවට කතිකාවක් ආරම්භ වී ඇත. එමෙන් ම කලක් පෘතුවි භූමියෙන් 20 ක් සහ ලෝක ජනගහනයෙන් 1/3 ක් පාලනය කළ බ්‍රිතාන්‍යය ද අද බෙදී වෙන්වීමේ තර්ජනයට මුහුණ දී ඇත. 2016 ජුනි 23 පවත්වන්නට යෙදුණු ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමේ තීරණයත් සමඟ ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමේ කතිකාවක් ආරම්භ වී ඇත. කලකට පෙර ස්පාඤ්ඤය ලොව තුළ තිබූ විශාල අධිරාජ්‍යයකි. වර්ථමානයේ ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤයේන් ඉවත් වීමේ උද්ඝෝෂණ ඉතා තීරණාත්මක අවධියකට ලංවී ඇත. ඒ සඳහා පැවති ජනමත විචාරණය ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව විසින් කඩාකප්පල් කළේ ය. එවැන්නක් ශ්‍රී ලංකාව තුළ සිදු වූවා නම් යුරෝපීය ජාතිකයන් නැගිටින්නේ කඟවේනුන් ලෙස ය. නමුත් එය සිදු වූයේ යුරෝපයේ නිසා ඔවුන් මුනිවත රකී.

1940 දශකයේ අග භාගයේ කොරියාව බෙදා වෙන් කිරීමෙහි ලා කිසිදු අභිලාෂයක් එරට ජනතාවට නොවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී එය බලහත්කාරයෙන් බෙදා වෙන් කරන ලදී. අද වන විට උතුරු කොරියාව ලෝකයට ම තර්ජනයක් වෙමින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් සිදු කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ පරිදි ම ඇමෙරිකාව හා බටහිර රාජ්‍යයන් එක් ව උතුරු කොරියාව විනාශ කරනු ලබන බවට සැකයක් නැත. අසල්වැසි ප්‍රබල රාජ්‍යයක් එම යුධ උපකාරණ නිර්මාණය කිරීමට සහාය දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාව කලක දී විපතට පත්වන බව ඔවුන් දැන සිටියහ. එසේ උතුරු කොරියාව දුර්වල වන මොහොතේ දී එය එකී ප්‍රබල රාජ්‍යයේ ප්‍රාන්තයක් වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි ය. එහි ඊළඟ ඉලක්කය වනුයේ දකුණු කොරියාව ද අල්ලා ගැනීමයි. එක්සත් ජාතීන් මැදිහත් වී සර්බියාවෙන් කොසෝවා බෙදී වෙන් කිරීම මෙන් ම 2011 වසරේ දී සූඩානය ද රටවල් 2 ක් ලෙස බෙදා වෙන් කිරීම සිදු කළහ. එසේ බෙදී වෙන් වීම තුළ එම රටවල ගැටලු විසඳී ඇති බවක් පෙනෙන්නට නොමැති අතර ඒවාහි පවතින ගැටළු තව තවත් උඩුදුවමින් පැවතින බව පෙනෙන්නට ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනස්කම් මොනවා ද?

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය වෙනස්කම් ලෙස ජනතාව නැගූ හඬතුළ දිස් වූයේ ප්‍රධාන කරුණු 4 කි.

 

  1. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
  2. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
  3. යහපාලන සංකල්පය අන්තර්ගත කිරීම
  4. සුළු ජාතීන්ගේ ඉල්ලීම් සලකා බලතල විමධ්‍යගත කිරීම (එය සුළු කොටසකගේ ඉල්ලීමක් පමණයි)

19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයක් කප්පාදු කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාව ඇතුළු නොයෙකුත් චෝදනා වර්තමාන ආණ්ඩුවට එල්ල වී ඇති හේතුව මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වුවමනාවක් ජනතාවට ඇත්තේ නැත. අවම ලෙස එම වංචාව සම්බන්ධයෙන් කොමිසමක් හෝ පත්කරණු ලැබුවේ ජනාධිපති ධුරයේ බලතල පැවතීම නිසාය. එසේ නම් ඉතිරිව ඇති කාරණා අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට 2015 දී ඉදිරිපත් කළ 20 වන සංශෝධනයේ ප්‍රතිපාදන ඇත. සුළු ජන කොටස් වෙනුවෙන් බලතල බෙදීම සම්බන්ධව ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගෙන කටයුතු කිරීමේ අවහිරතාවක් නොමැත. ඒ සඳහා විදෙස් සංවිධාන, විදෙස් රාජ්‍ය, ඩයස්පෝරා, රාජ්‍ය නොවන සංවිධාන අවශ්‍ය නැත. තමන්ගේ දේශපාලන පැවැත්ම පමණක් පදනම් කරගෙන දේශපාලනයේ යෙදී ඇති නායකයින්ගෙන් මීට විසඳුම් බලාපොරොත්තු විය නොහැක. සත්‍යවාදී ලෙස ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ පවිත්‍ර චේතනාවෙන් යුත් දේශපාලන, ආගමික සහ සමාජ නායකයින් එක්ව සුහද ලෙස සංහිඳියාව කරා ගමන් කළ යුතු ව ඇත. වර්තමානය තුළ සංහිඳියාව තුළට රිංගා ඇති වෛරස් සහා බැක්ටීරියා මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිජීවක ලබා දීම සිදු කළ යුතු ව ඇත. උතුරේ සහ නැගෙනහිර ද්‍රවිඩ දේශපාලඥයන් වසර 100කට වැඩි කාලයක් ජාතිවාදය මතු කරමින් වෙනම රාජ්‍ය සහ බලතල බෙදීම ගැන කතාකලා මිස ද්‍රවිඩ ජනතාවට කල සේවයක් නම් පෙනෙන්නට නැත. අවසානයේ ත්‍රස්ථවාදීන්ට උඩගෙඩි දී රට මෙන්ම දෙමළ සමාජයද විනාශකර දැමුහ.

 

කළ යුතු දේ

වර්ථමානයේ රටතුල නිර්මානය වී ඇති දේශපාලන සහ සමාජ සංයුතිය තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් සම්මතකර ගැනීමේ හැකියාව ඉතා අල්පය. 2015 වසරේදී ඒ සදහා ඉතා යෝග්‍ය වාතාවරණයක් රටතුල නිර්මාණය වුවත් ආණ්ඩුව අදූරදර්ශී ලෙස කටයුතු කිරීම නිසා එම තත්ත්වය මුලුමණින්ම පහව ගොස් ඇත. යෝජිත ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබා ගැනීම හුදු කල්පිතයක් පමණක් වනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වුවත් එය ජනමත විචාරණයකින් සම්මත වීම අත්‍යවශ්‍යය. එය මිරිගුවක් පසුපස හබායාමක් වනු නියතය. අති බහුතරයක් සිංහල හා මුස්ලිම් ජනතාව ඊට විරෝධය ඵලකොට ඇත.

මෙම තත්ත්වය යටතේ ආණ්ඩුව විසින් අනුගමනය කළයුතු බුද්ධිමත් ක්‍රියාදාමය වනුයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කොට පවතින ව්‍යවස්ථාව වඩාත් ප්‍රශස්ථ එකක් බවට පත්කිරීම සදහා සුදුසු සංසෝධනයන් හදුන්වා දීමට කටයුතු කිරීමය. එහි ප්‍රමුඛතා පිළිවල මෙසේ තේරුම් ගත හැක.

 

  1. දැනට පවතින සමානුපාතික මැතිවරණ නියෝජන ක්‍රමය ඉවත්කොට රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් රටට හදුන්වා දීමය.
  2. නඩු කටයුතු වල පවතින ප්‍රමාදය වලක්වා ගෙන පොදුවේ අධිකරණ පද්ධතියේ කාර්‍යක්ශමතාවය වැඩි කිරීමට අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම. ( ඒ සදහා සුදුසු සංශෝධනයන් මා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය ඇතුලත් කිරීමේ බලාපොරොත්තුව මත එය තවමත් පසෙක තබා ඇත.)
  3. පළාත් සභා සහ පළාත් පාලන ආයතන සහ ඒවායේ සංයුතිය විදිමත් කොට ඒවා වඩාත් කාර්‍යක්ෂම ලෙස ක්‍රීයාත්මක කිරීමට හැකිවන ආකාරයේ පරිපාලන බලතල සමමිතික ලෙස බෙදා හැරීම.
  4. රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරකම් පිළිබද වගවීමේ යාන්ත්‍රනය ශක්තිමත් කිරීම.

ඊට අමතර ලෙස පළාත් සභා බලතල පිළිබද යම් කතිකාවතක් පවත්වාගෙන යා හැකි වූවත් ඒ පිළිබදව ක්ෂනික තීන්දු තීරණ ගැනීමට මෙය කිසිසේත් සුදුසු කාලයක් නොවන්නේය.

ඉහත කී සංශෝධනයන් සිදු කිරීම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් සිදුකිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නැත. එහෙත් ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මාලාවේ 116 නියෝග අනුව ව්‍යවස්ථාදායක කටයුතු පිළිබද ස්ථාවර කාරක සභාවක් මගින් එය සිදු කිරීමේ ක්‍රමවේදය සලස්වා ඇත. එය ඉතා සරල පහසු ක්‍රමයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වශයෙන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සහ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු වශයෙන් සිටිමින්ම ඒවායේ ව්‍යවස්ථා විරෝධීභාවය දැන දැන මෙතෙක් කටයුතු කිරීම පිළිබදව මාහට එරෙහිවද චෝදනාවක් එල්ල කිරීම සාධාරණය.  එහි නීත්‍යානුකූල නොවන භාවය අදාල තැනැත්තන්ට පෙන්වා දුන් නමුත් ආණ්ඩුවක් ලෙස ඉහත ක්‍රීයාදාමය පිළිබද විශ්වාසයක් තැබීම නිසා සහ කෙසේ වෙතත් අවසානයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරගත් ආකාරයට ගැටළුවකින් තොරව රටේ උන්නතිය වෙනුවෙන් එය ප්‍රයෝජනවත් වනු ඇතැයි යන බලාපොරොත්තුව නිසා එම නීතිමය ගැටළුව මතු නොකලෙමි. වර්තමානය වන විට සමස්ථ ක්‍රියාදාමයම අවුල් ජාලාවක් බවට පත්කරගෙන ඇති හෙයින් ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීම යුතුකමක් කොට සළකමි.

 

ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

ධර්ම නීති විශාරද සාසන වීභූෂණ
දර්ශනශූරී – කොළඹ විශ්ව විද්‍යාලය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය
දර්ශනශූරී – කැලණිය විශ්ව විද්‍යාලය – බෞද්ධ දර්ශනය
දර්ශනපති- ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය – බෞද්ධ විනය සහ අධ්‍යතන නීතිය
ශ්‍රාස්ත්‍රපති – රුහුණු විශ්ව විද්‍යාලය – බෞද්ධ දර්ශනය
ශ්‍රාස්ත්‍රවේදී – කොළඹ විශ්ව විද්‍යාලය – නීතිය
ඩිප්ලෝමා – ප්‍රයිබුර්ග් විශ්ව විද්‍යාලය ස්විට්සර්ලන්තය – ගැටුම් නිරාකරණය සහ පෙඩරල් ක්‍රමය